මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා පසුගිය ජනවාරි 09 වැනිදා අලුයම ගුවන් තොටුපළේ කුලී රථ පෝලිම අසලදී පෞද්ගලික ආරවුලක් මත ගැටුමක් ඇති කරගෙන තිබූ අතර, එම අවස්ථාවේදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබුණි. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අධිකරණ නියෝගයක් මත ඔවුන් දෙදෙනා යළි අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා දින 15ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලදිවයින් අධිකරණය නියෝග කර තිබේ. මොවුන් දෙදෙනා මාලදිවයිනේ පිළිගත් රැකියාවල නිරතවන්නන් බවත්, අපරාධයක් කිරීමේ චේතනාවෙන් තොරව මෙම ගැටුම ඇති කරගත් බවත් ඔවුන්ගේ නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.














