මාවතගම, කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ තිබූ පෞරාණික බුදු පිළිමයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැහැරගත් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 28 වැනිදා රාත්‍රියේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු, විමර්ශනයක් සඳහා අවශ්‍ය බව පවසා ආවාස ගෙයි තැන්පත් කර තිබූ අඩි එකහමාරක් උසැති රන් පැහැති පිළිමය මෙලෙස රැගෙන ගොස් තිබුණි.
ඊයේ (31) සිදුකළ වැටලීමේදී පැහැරගත් පිළිමය සමඟ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක් ද පොලිස් භාරයට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 56ත් අතර පසුවන තෙල්දෙණිය, මොනරාගල, මාතලේ ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. පිළැස්ස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














