මෙවර පැවැත්වීමට නියමිත 50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා වන නිල චක්‍රලේඛය මාස දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුව ඊයේ (03) නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි මාසය වන විට අයැදුම්පත් කැඳවීම ඇතුළු මූලික කටයුතු ආරම්භ වුවද, මෙවර එම ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කළ ද, ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය පියවර මෙතෙක් ක්‍රියාත්මක වී නොතිබුණි.
නව චක්‍රලේඛය 2026.01.30 දාතමින් යුතුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතර, ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රීඩකයන් තේරීමේ කටයුතු සහ ප්‍රතිපාදන වෙන් කිරීමේ මූලික මෙහෙයුම් ඉදිරි දිනවලදී ආරම්භ වනු ඇත. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට රැගෙන එන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන මෙහි 50 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරීමට අවශ්‍ය සියලු කටයුතු නොපමාව සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.














