මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සිය සේවා ස්ථානවලින් විතැන් වූ හෝ විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව 1989 ක්ෂණික ඇමතුම් අංකය හෝ 071 9802822 වට්ස්ඇප් (WhatsApp) අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා දැනුම් දෙයි. පීඩාවට පත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට හෝ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට කාර්යාංශය සූදානමින් සිටී.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ නිලධාරීන් මේ වන විට පැය 24 පුරාම සීරුවෙන් පසුවන අතර, සියලු තොරතුරු සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වේ. යම් හෙයකින් යුද තත්ත්වය උත්සන්න වී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සිදු වුවහොත්, ඒ සඳහා අවශ්‍ය සියලුම කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට රජය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර ඇත. ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම මැදිහත්වීම සිදුකරන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අර්බුදකාරී අවස්ථාවේදී තොරතුරු හුවමාරු කර ගැනීම අතිශය වැදගත් වන බැවින්, මැදපෙරදිග සිටින තම ඥාතීන් හෝ හිතවතුන් පිළිබඳව යම් ගැටලුවක් පවතී නම් ඉහත සඳහන් අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මැදිහත් වී ඔවුන්ගේ සුභසාධනය සහ නීතිමය ගැටලු විසඳීමට කටයුතු කරන බව පවසයි. මැදපෙරදිග කලාපීය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්ද මේ වන විටත් සිදු කරමින් පවතී.
උපුටා ගැනීම: සුරේකා නිල්මිණි ඉලංකෝන් (සිළුමිණ)














