මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකාර්මික යන අත්‍යවශ්‍ය මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේදී අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, මතුවෙමින් පවතින මෙම ගෝලීය අර්බුදයේ ස්වභාවය කලින් නිශ්චය කළ නොහැකි බැවින් සියලු දෙනා එක්ව සාමූහිකව මෙයට මුහුණ දිය යුතු බවයි.
විශේෂයෙන්ම ඉන්ධන කළමනාකරණය සම්බන්ධයෙන් මෙහිදී තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා විය. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත්, ඒ අතරම විධිමත් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඉන්ධන ප්‍රාදේශීය වශයෙන් සංචිත පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා, කෘෂිකාර්මික, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ඉන්ධන සැපයීම කඩිනම් කිරීම සඳහා ඩිජිටල් QR කේත ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කරන ලෙස ද නියෝග කළේය. මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය












