මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බවත්, එම තත්ත්වය හමුවේ රට ඉතා කල්පනාකාරීව සහ මූල්‍ය කළමනාකරණයකින් යුතුව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. අද (15) දින විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගනිමින් සිටි අවස්ථාවක මෙම ගැටුම ඇතිවීම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
විශේෂයෙන්ම මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයක් වන මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා සහ ජීවනෝපායන් මෙම ගැටුම නිසා තර්ජනයට ලක්ව ඇති බව ඇය සඳහන් කළාය. එසේම, මැදපෙරදිග ගුවන් සීමාවන් භාවිත කරමින් ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවීමක් ද දක්නට ලැබෙන බවත්, ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් මතුව ඇති ගෝලීය අර්බුදය ලංකාවට ද දැඩිව බලපා ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
යුද්ධය තවදුරටත් දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාවට තීරණාත්මක බලපෑම් එල්ල විය හැකි බැවින්, අනවශ්‍ය වියදම් කපා හරිමින් ඉතා සැලසුම් සහගතව ආර්ථිකය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. ණය ලබාගැනීමේ හැකියාව පැවතියද, ණය මතම යැපෙමින් රටේ ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී අවධාරණය කර සිටියාය.














