මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, හෙට (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. මෙම ගාස්තු සංශෝධනය යටතේ විවිධ පාරිභෝගික කාණ්ඩ සඳහා 4.3% සිට 25.3% දක්වා පරාසයකින් ගාස්තු ඉහළ යනු ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා සිදුවන වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ:
ඒකක 0 – 30 දක්වා: ඒකකයක ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 5 දක්වා ඉහළ යයි. (උපරිම ගාස්තුව රු. 230)
ඒකක 31 – 60 දක්වා: ඒකකයක ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 9 දක්වා ඉහළ යයි. (උපරිම ගාස්තුව රු. 630)
ඒකක 61 – 90 දක්වා: ඒකකයක ගාස්තුව රුපියල් 18.50 සිට රුපියල් 20 දක්වා ඉහළ යයි. (උපරිම ගාස්තුව රු. 1840)
ඒකක 180 ට වැඩි: ඒකකයක ගාස්තුව රුපියල් 61 සිට රුපියල් 85 දක්වා 25.3% කින් ඉහළ යයි.
ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා ඒකක 180 ට අඩු නම් ගාස්තු ඉහළ නොයන අතර, ඒකක 180 ට වැඩි නම් 9.6% කින් ගාස්තු වැඩි වේ. මීට අමතරව කර්මාන්ත අංශය සඳහා 8.7% ක් ද, හෝටල් අංශයට 9.9% ක් ද, රාජ්‍ය ආයතන සඳහා 14.4% ක් ද වශයෙන් ගාස්තු ඉහළ නංවා ඇත. ඉදිරියේදී පවතින ලෝක වෙළඳපොළ තත්ත්වය මත යළිත් ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට විදුලිබල මණ්ඩලයට අවස්ථාව පවතින බව ද කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.














