මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස, රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (15) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැති මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුසියානු ඉන්ධන කඩිනමින් ලබාගන්නා ආකාරය පිළිබඳව එකඟතාවකට පැමිණීමයි.
මෙම සාකච්ඡාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරුන් ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ඉල්ලීම වහාම රුසියානු රජය වෙත දන්වා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර දෙන බවට රුසියානු තානාපතිවරයා මෙහිදී පොරොන්දු වූ අතර, ඕනෑම අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාවට රුසියාවේ සහාය හිමිවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග තෙල් නැව් ඒම ප්‍රමාද වීම හමුවේ මෙය මෙරට බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ













