මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ
යුරෝපා පාපන්දු ශූරයන් වන ස්පාඤ්ඤය සහ ලෝක ශූර ආර්ජන්ටිනාව අතර මාර්තු 27 වනදා කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි ‘Finalissima’ තරගය අවලංගු කළ බව යුරෝපා පාපන්දු සම්මේලනය (UEFA) අද (මාර්තු 15) නිවේදනය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් රාජ්‍යය තුළ තරගය පැවැත්වීමට ඇති අනාරක්ෂිත බව මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම කීර්තිමත් කුසලානය සඳහා විකල්ප දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව ආර්ජන්ටිනා පාපන්දු සංගමය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් තරගය මුළුමනින්ම අවලංගු කිරීමට සිදු වූ බව UEFA ආයතනය පවසයි. මැඩ්රිඩ් නුවර සන්තියාගෝ බර්නබියු ක්‍රීඩාංගණයේදී හෝ යුරෝපයේ වෙනත් මධ්‍යස්ථ ස්ථානයක තරගය පැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනා ආර්ජන්ටිනාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේ මාර්තු 31 වනදා තරගය පැවැත්වීමට ආර්ජන්ටිනාව කැමැත්ත පළ කළද, එය ස්පාඤ්ඤයට සහ UEFA කාලසටහනට පටහැනි වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
පාපන්දු ලෝලීන් මෙම තරගය දෙස මහත් උනන්දුවෙන් බලා සිටියේ ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන ලයනල් මෙසී සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන නවක තරුව ලැමින් යමාල් (Lamine Yamal) පළමු වරට එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන තරගය මෙය බැවිනි. මීට පෙර 2022 වසරේදී පැවැති පළමු Finalissima තරගයේදී ඉතාලිය පරදා ජයග්‍රහණය කිරීමට මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය. මෙම අවලංගු කිරීම පාපන්දු ලෝකයට මෙන්ම කටාර් සංවිධායකයන්ට ද විශාල බලාපොරොත්තු කඩවීමක් වී ඇත.













