මියන්මාර තායිලන්ත දේශ සීමා අතර ‘මයාවඩි’ සයිබර් අපරාධ කලාපයේ සිරකර සිටි සිය දරුවන් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් කප්පමක් ගෙවීමට මව්පියන්ට සිදුව ඇතැයි ‘මව්බිම’ට වාර්තා වේ.
මියන්මාරයේ පදිංචි ලාංකික භික්ෂුවක් හරහා අපරාධකරුවන්ට මෙම මුදල් ගෙවූ බව වින්දිත ලාංකිකයෙකුගේ පියෙක් ‘මව්බිම’ට පැවසීය.
ඒ අනුව, දරුවන් 27 දෙනෙකු වෙනුවෙන් ලක්ෂ 5 බැගින් මුදලක් මුද්දරයක් පිට අත්සන් කර අදාළ භික්ෂුවට දුන් බව එම පියා පවසයි.
තවත් 5 දෙනෙකු වෙනුවෙන් එසේ මුදල් ගෙවීමට ඔවුන්ගේ මව්පියන් සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.
බේරාගත් ලාංකිකයන් 32 අතරින් 5 දෙනෙකු අද (දෙසැ. 6) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ත් ඉතිරි පිරිස ලබන 16 වන දා මෙරටට පැමිණීමට නියමිත බව ත් ඔහු පැවසුවේය.
සියලු ම ලාංකිකයන් බේරී නැති බව ත් තවත් 13ක් සයිබර් අපරාධ කඳවුරුවල සිටින බව ත් කී හෙතෙම කඳවුරෙන් බේරී ආ ලාංකිකයන් අතරින් තවත් 5 දෙනෙකු තායිලන්තයේ පොලිස් භාරයේ සිටින බව කීය.
තමන් කැමැත්තෙන් සයිබර් කඳවුරට ගිය බවට තායිලන්තයේ ගුවන්තොටුපළ බලධාරීන් සමග පවසා සිටීම එම පස්දෙනා පොලිස් භාරයට ගැනීමට හේතුව බව ඔහු කීවේය.
එහෙත් එම පිරිසට තායි උසාවියෙන් පනවන දඩ මුදලක් ගෙවීමෙන් පසුව නිදහස් වීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.
මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු පසුගිය නොවැම්බර් 25 වන දා බේරාගත් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම බේරාගත් ලාංකික පිරිස අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනෙකු ඇතුළත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
කෙසේ වෙතත්, මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමං වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනා බේරාගත්තේ මියන්මාර සහ ශ්‍රී ලංකා බලධාරීන් සම්බන්ධීකරණ මෙහෙයුමක් මගින් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනය ඔස්සේ පෙන්වා දුන්නේය.