පෙබරවාරි 05 – මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ‘මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය’ නමින් ස්වාධීන ආයතනයක් වහාම පිහිටුවන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති. අද (05) පෙරවරුවේ අගරදගුරු මැදුරේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජල පෝෂක ප්‍රදේශයක් සහ ජලය බැසයාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම තෙත්බිම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බවයි.
මුතුරාජවෙල කලාපය තුළ තවදුරටත් සිදුවන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් හේතුවෙන් සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ඉදිරියේදී දැවැන්ත ගංවතුර තර්ජනයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව උන්වහන්සේ මෙහිදී අනතුරු ඇඟවූහ. දේශපාලන සහ ව්‍යාපාරික අවශ්‍යතා මත මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශ කිරීමට ඉඩ නොතබන ලෙසත්, අනාගත පරපුර වෙනුවෙන් මෙය සුරැකීමට රජය වගකීමෙන් බැඳී සිටින බවත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.











