විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවූයේ වත්මන් රජයේ පවතින ගල් අඟුරු වංචාව නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් අද (අප්‍රේල් 1) කොළඹ නිපොන් හෝටලයේදී සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුර කුමාර දිසානායක මහතාගේ රජය තීරණය කර ඇති බැවින්, එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය මෙරට සාමාන්‍ය ජනතාවට කිසිසේත්ම සුබදායී එකක් නොවන බව හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රජය විසින් සියයට 13.5ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබූ බවත්, ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා හැරීමේ නායකත්වය ගත්තේද වත්මන් ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කර සිටිනවා.
විදුලිබල මණ්ඩලයෙන් ඉවත්වීමට සේවකයන් දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී ඇති අතර ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක්ද ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම විසින් එම විශ්‍රාම ගැන්වීමේ පිරිවැය මෙවර ගාස්තු සංශෝධනයට ඇතුළත් කර නොමැති නිසා සමස්ත විදුලි ගාස්තු වැඩිවීම සියයට 10.5කට සීමා වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නා.
එසේ වුවද ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා වන විදුලි බිල සියයට 13.5කින්ද, කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වන විදුලි බිල සියයට 8.7කින්ද ඉහළ දමා ඇති බවත්, මේ හරහා මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම දැවැන්ත අර්බුදයකට ඇද වැටීමට නියමිත බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම අවස්ථාවට හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් සහභාගී වී සිටියා.














