මොරටුව බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් අද (05) දින සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රථ රියදුරන් 08 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව රියදුරන් 250 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
මෙම පරීක්ෂාව සිදුවන බව දැනගත් ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිය බස් රථ මොරටුවට නොපැමිණ අතරමගින් හරවාගෙන ගොස් ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා අවධාරණය කළේ, මෙලෙස පරීක්ෂා මගහැරිය සියලු දෙනා හෙට (06) දිනය තුළ ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය වාර්තා ලබාගත යුතු බවයි. එසේ නොකරන කිසිදු රියදුරෙකුට හෝ කොන්දොස්තරවරයෙකුට මින් ඉදිරියට පොදු මගී ප්‍රවාහන සේවයේ නිරත වීමට අවසර ලබා නොදෙන බවට ඔහු දැඩිව අවවාද කළේය.














