මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මොරටුව මූලස්ථාන පොලිසියට අනුව, මෙලෙස මියගොස් ඇත්තේ කොරලවැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි සමිඳු නිර්මාල් ප්‍රනාන්දු නමැති තරුණයෙකි. ඔහු පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය කරමින් සිටියදී, කොරලවැල්ල ලන්සියා පල්ලිය ආසන්නයේදී කුඩා ලොරි රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකිව විරුද්ධ මංතීරුවට ඇදී ගොස් තිබේ. එහිදී මාර්ගය අසල වූ අධිබලැති විදුලි කණුවක යතුරුපැදිය ගැටීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති අතර, වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.














