යාපනය – ඌර්කාවල්තුරෙයි මාර්ගයේ අලෙයිපිඩ්ඩි මංසන්ධියේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (10) අලුයම 1:00ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.
පොලිසිය පවසන පරිදි, අදාළ වෑන් රථය නතර කරන ලෙස කළ නියෝග නොතකා වේගයෙන් ධාවනය කර ඇති අතර, එහිදී ඇති වූ සැකය මත පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වඩ්ඩුකෝඩෙයි ප්‍රදේශයේ පදිංචි ඇල්බිනෝ අරුල් බයස් (Albino Arul Bias) නමැති තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අලුයම කාලයේ අණ නොතකා ධාවනය වූ රථය පිළිබඳව සැක සිතී නිලධාරීන්ට වෙඩි තැබීමට සිදු වූ බවයි. රථය තුළ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වඩ්ඩුකෝඩෙයි සහ නල්ලූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














