යාපනය විශ්වවිද්‍යාලයේ 54 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන තිලීපන් දයාලිනි මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීමට ඉන්ධන ලබාගැනීමේදී භාවිතා කළ QR කේතය සහ සී.සී.ටී.වී (CCTV) දර්ශන ප්‍රබල සාක්ෂි වී තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 21 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා දික්කසාද වීම සඳහා අයදුම් කර සිටි යුවළක් බව ද අනාවරණය වී ඇත. කථිකාචාර්යවරිය සහ ඇයගේ දියණිය පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ අනෙක් දියණිය කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් විමර්ශනවලදී හෙළි වූ කරුණු අනුව, සැකකරුවන් නිවසේ වහළයේ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් පළා ගොස් ඇති අතර එහි තිබී කපන ලද හිසකෙස් ද සොයාගෙන ඇත. ඔවුන් පරන්තන් ප්‍රදේශයේදී ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන පසුව ත්‍රිකුණාමලයේදී QR කේතය මගින් ඉන්ධන ලබාගෙන තිබේ. ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගත් සැකකාර බෑනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, තමන් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත. ඇයගේ මළ සිරුර යාපනය තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ වගුරුබිමක තිබී සොයාගත් අතර ඒ වන විටත් සිරුර විකෘති වී තිබූ බව වාර්තා වේ. සිරුර දැනට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














