යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) අතර ඊයේ (05) දමස්කස් නුවරදී පැවති සාකච්ඡාවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ වී තිබේ. අමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුක්රේනයේ යුද විශේෂඥ දැනුම ලබාදීමට මෙහිදී අවධානය යොමු කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි පිහිටුවීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයෙකු සිරියාවේ සිදු කළ පළමු සංචාරය මෙය වන අතර, තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිඩාන් (Hakan Fidan) ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය ආරක්ෂාවට එල්ල වී ඇති බලපෑම්, බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මැඩපැවැත්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
රුසියාව සමඟ වසර හතරක පමණ කාලයක් පවතින යුද අත්දැකීම් භාවිත කරමින්, මැදපෙරදිග කලාපයේ අමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ට සහ කඳවුරුවලට එල්ල වන ප්‍රහාර හමුවේ යුක්රේනයේ සහයෝගය ලබාදීමට සෙලෙන්ස්කි මෙහිදී කැමැත්ත පළ කර ඇත.













