යුක්රේන හමුදාව රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා “ගැඹුරු ප්‍රහාරක” (Deep-strike) ඩ්‍රෝන වැඩසටහනට අවශ්‍ය කුඩා ජෙට් එන්ජින් (Mini jet engines) ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. යුරෝපය පුරා පිහිටි එන්ජින් නිෂ්පාදන ආයතන සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට උත්සාහ කළද, පවතින ඉහළ ඉල්ලුම සපුරාලීමට අපොහොසත් වීම නිසා මෙම “සැපයුම් තදබදය” (Supply crunch) නිර්මාණය වී තිබේ.
සාමාන්‍ය ප්‍රොපෙලර් සහිත ඩ්‍රෝන යානාවලට වඩා වේගවත් මෙන්ම කෲස් මිසයිලවලට වඩා බෙහෙවින් ලාභදායී වන මෙම කුඩා ටර්බෝජෙට් ඩ්‍රෝන යානා, රුසියාවේ වඩාත් දියුණු ‘Geran-5’ වැනි පද්ධති සමඟ තරඟ කිරීමට යුක්රේනයට අත්‍යවශ්‍ය වේ. එහෙත්, මෙම එන්ජින් හිඟය හේතුවෙන් යුක්රේනයේ මිසයිල හා ඩ්‍රෝන නිෂ්පාදන වැඩසටහන සීමා වී ඇති බව එරට ආරක්ෂක අංශ මූලාශ්‍ර පෙන්වා දෙයි.
නෝර්වේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂක ෆේබියන් හොෆ්මන් (Fabian Hoffmann) පවසන පරිදි, යුරෝපය තුළ කුඩා ජෙට් එන්ජින් නිෂ්පාදනයේ පවතින මෙම බාධකය ඉවත් කිරීම යුක්රේනයට සහාය වීමට මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේදී ඇමෙරිකාව මත යැපීම අවම කර ගැනීමට ද අතිශය වැදගත් වේ. දැනට වෙළඳපොළට නව නිෂ්පාදකයන් කිහිපදෙනෙකු එක්ව සිටියද, යුද බිමේ පවතින දැඩි අවශ්‍යතාවය සපුරාලීම තවමත් අභියෝගයක්ව පවතී.














