යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි නිකොපොල් (Nikopol) නගරයේ ජනාකීර්ණ වෙළඳපොළක් ඉලක්ක කරගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 14 හැවිරිදි දැරියක ඇතුළු තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රාදේශීය අභිචෝදක කාර්යාලය පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ උදෑසන 09:50 ට පමණ වන අතර, එම ප්‍රහාරයෙන් වෙළඳසැල් කුටිවලට දැඩි හානි සිදුව තිබෙනවා.
නිකොපොල් නගරය පිහිටා ඇත්තේ 2022 පෙබරවාරි මාසයේ සිට රුසියානු හමුදා අත්පත් කරගෙන සිටින භූමියට මුහුණලා ඩිනිප්‍රෝ (Dnipro) නදියෙන් එහා පැත්තේ බැවින් එය නිරන්තරයෙන්ම ප්‍රහාරයන්ට ලක්වන කලාපයක්. මීට පෙරද යුක්රේනය පුරා එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස් තිබුණා. යුක්රේනය විසින්ද රුසියාවේ දකුණු දිග ටැගන්රොග් (Taganrog) නගරයට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව රුසියාව පවසනවා.














