රුසියාවේ අඛණ්ඩ ප්‍රහාර සහ දරුණු සටන් පවතින ඉදිරි පෙළ සීමාවන්හි පිහිටි සිය නිවෙස් කරා යුක්රේන වැසියන් මිලියන 1.6කට අධික පිරිසක් යළි පැමිණ ඇති බව ‘Save the Children’ ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් හෙළි වේ. දරුණු යුද කලාපයකට යළි පැමිණීම කිසිවෙකුත් සැහැල්ලුවෙන් ගන්නා තීරණයක් නොවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙලෙස ජනතාව යළි පැමිණ ඇත්තේ කාර්කිව් (Kharkiv), ඩොනෙට්ස්ක් (Donetsk), කර්සන් (Kherson) සහ සුමි (Sumy) යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් කරාය. සිය ගම්බිම් සහ ප්‍රජාව පිළිබඳව ඇති දැඩි ලැදියාව මෙන්ම පිටුවහල්ව සිටින ප්‍රදේශවලදී දැනෙන හුදෙකලාව මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී තිබේ. මීට අමතරව, ආර්ථික දුෂ්කරතා සහ තමන්ට හුරුපුරුදු ආදායම් මාර්ග අහිමි වීම නිසා ද බොහෝ පවුල් මෙම අවදානම් සහගත තීරණය ගෙන ඇත.
වාර්තාවට අනුව, දෙමාපියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පවසා ඇත්තේ සිය දරුවන් පිටුවහල්ව සිටින ප්‍රදේශවලදී දැඩි මානසික පීඩනයකින් සහ අසහනයකින් පසු වූ නිසා ඔවුන්ව යළි ගම්බිම් කරා රැගෙන ආ බවයි. රුසියානු ආක්‍රමණය ආරම්භ වී වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති මොහොතක, තවමත් යුක්රේන වැසියන් මිලියන 3.4ක් රට තුළම අවතැන්ව සිටින අතර මිලියන 5.9ක් විදේශයන්හි රැකවරණය ලබා සිටිති. කෙසේ වෙතත්, 2025 දෙසැම්බර් වන විට මිලියන 9.1ක ජනතාවක් තවමත් යුක්රේනයේ ඉදිරි පෙළ සටන් පවතින අවදානම් ප්‍රදේශවල ජීවත් වන බව ගණන් බලා ඇත.
















