පෙබරවාරි 05 – ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සමරු සැමරුම සනිටුහන් කිරීම සහ දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් පෙරදැරිව යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ කපිතාන් සමන් දේවප්‍රිය මහතා අද (05) පෙරවරුවේ හබරණ සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ පා ගමනක් ආරම්භ කළේය. අද පෙරවරු 6:00ට හබරණින් ගමන් ආරම්භ කළ ඒ මහතා, හබරණ, ගනේවල්පොළ, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම සහ නෙලුම්කුලම හරහා කිලෝමීටර් 63ක පමණ දුරක් ගෙවා පූජා නගරය වෙත ළඟා වීමට නියමිතය.
වසර 30ක කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිතව සිටින කපිතාන් සමන් දේවප්‍රිය මහතා, මෙම අධිෂ්ඨාන පූජාව හරහා ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීම ද අපේක්ෂා කරයි. යුද හමුදා නිලධාරියෙකු සිය සේවා කාලය නිමවීමට ආසන්නව මෙවැනි අසීරු පා ගමනක නිරත වීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ.














