යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ යොහානි අති දක්ෂ ගායිකාවක් නිසාම නොවෙයි.
යථාර්තය නම් ගායනයේ තාක්ෂණික කාරණා අතින් යොහානි දක්ෂතමයා නොවෙයි.
ඇයට වඩා සෘතිය මත පිහිටා ගයන, අසීරු තැන් නිවැරදි තාක්ෂණයට අනුකූලව ගායනා කරන යොවුන් ගායක ගායිකාවන් සිය ගණනක් සොයාගත හැකියි.
නමුත් ගායනය තාක්ෂණයට වඩා ආසන්න හැඟීමට. ගීතය මිනිස් හැඟීම සමග බද්ධ වූ කලාවක්.
යොහානි ජනප්‍රිය වන්නේත්, ඇයගේ ගීත ‘වෛරල්’ වන්නේත් එතැනින්.
ගායනයේ තාක්ෂණික කොටස් වලට හසු නොවෙන කුමක් හෝ දෙයක් ඇගේ හඬෙහි තියෙනවා.
යොහානිගේ හඬ පිහිටන්නේ කාන්තා හඬෙහි උපරිම මිහිරි පරාසයක.
ඊස්ට්‍රජන් හෝර්මෝනය විසින් ඇති කරන හඬ පරාසයේ උපරිම මිහිර යොහානිගේ හඬේහි ගැබ්ව තිබෙනවා.
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේත්, ඇය ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන්නේත් ඒ නිසා.
අසන්නන් ආශක්ත කරන හඬ ඇයගේ සාර්ථකත්වය පසුපස ඇති ප්‍රධාන හේතුව.
ඒ හඬට මිහිරි තාලයක් සහ මිහිරි පද පේළියක් එක් වූ විට ‘වෛරල්’ වෙන ගීතයක් නිර්මාණය වෙනවා.
යොහානිගේ සාර්ථකත්වය විග්‍රහ කළ හැකි සමීකරණයේ අංග ඒවා.
ඇය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ පදමත් ඒකයි.
යොහානිගේ අලුත්ම ගීතයක් ඊයේ ඇහුණා.
ඔව්! ඇහුවා නොවෙයි, ඇහුණා. ගීතය නම් කර තිබුණේ ‘හා චුට්ටක්’ ( Ha chuttak) නමින්. ඒ මැණිකේ මගේ හිතේ ආරයටම විය හැකියි.
නමුත් ඉන්පසුව යළිත් වරක් උනන්දුවෙන් මා එම ගීතය ඇහුවා.
මේ මොහොතේ යූටියුබ් දර්ශක වල සහ ට්‍රෙන්ඩින් තීරුවේ ප්‍රථම ස්ථානයේ තිබෙන්නේත් එම ගීතයමයි.
යොහානිගේ ගීත අසන්නාගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් සියලූම ලක්ෂණ මේ ගීතයේත් තිබුණා.
රූප රචනාව සරලයි. වර්තමාන ශ්‍රී ලාංකේය අනන්‍යතාවය වන ගීතයේ රූප රචනාවකින් චිත්‍රපටයක් පෙන්වීමේ විකාරරූපි අදහස එහි තිබුණේ නැහැ.
එහි බොලිවුඩ් ලක්ෂණ අඩංගුව තිබුණා. එය මා සිත්ගත් තැනක්.
නමුත් මා මේ සටහන ලියන්නේ යොහානි වර්ණනා කිරීමට නොවෙයි. ඈ සම්බන්ධයෙන් මට එක් විශාල විවේචනයක් තිබෙනවා.
ඒ බොහෝ දෙනෙකු යොහානිට එල්ල කරනා ඊර්ෂ්‍යාව මුසු පුහු විවේචන නොවෙයි.
එනම් ඉහත කියූ සියලූම කරුණු සහ වාසනා ගුණය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ කලාකරුවන්ට විවෘත නොවෙන එක් වේදිකාවක් යොහානිට විවෘත වුණා.
ඒ ඉන්දියාව.
ඉන්දීය සංගීත කර්මාන්තය අතිශය විශාලයි. ලංකාවේ බොහෝ ගායකයන් ඉන්දීය තනු වලට ගීත නිර්මාණය කළත් ඉන්දීය වේදිකාව විවර වුණේ ඉරාජ්ට සහ යොහානිට පමණයි.
එක් රැයකින් යොහානි මුලු ඉන්දියාවම දැනගත්තා. ඈ වටා බොලිවුඩය කේන්ද්‍ර කරගත් ඉන්දීය කලා ප්‍රභූන් එක්වුණා.
නමුත් මෑත කාලයක සිට යොහානි එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් පෙනෙන්නට නැහැ.
ඒ යොහානි ඇයට වගේම ඈ නියෝජනය කරනා සංගීත ක්ෂේත්‍රයටත් කරනා අසාධාරණයක්.
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රය සහ ඉන්දීය කර්මාන්තය අතර පාලම වීමේ අවස්ථාව ඇයට තිබුණා.
යොහානි කෙරෙහි මා සතුව ඇති බරපතලම සහ එකම විවේචනය, ඇය එම අවස්ථාව උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට නොගැනීම පමණයි.
උපුටා ගැනීම – Ireshan Siriwardhana – ෆේස්බුක් පිටුවෙනි