හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන මහත්මියට එරෙහිව ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව යළි කැඳවීම අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
නඩු විභාගය ආරම්භ කරමින් රජයේ නීතිඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ, විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයකට පෙනී සිටීමට තරම් නිරෝගී මානසික තත්ත්වයක පසුවන්නේද යන්න තහවුරු කර ගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. එම වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙස පැමිණිල්ල කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් පිළිගන්නා ලදී.
2009 මාර්තු සහ 2013 දෙසැම්බර් අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.














