රජයේ දුරදක්නා නුවණක් නොමැති ක්‍රියාකලාපය සහ උඩඟුකම හේතුවෙන් රට යළිත් බරපතල අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෑගල්ල සංවිධායක ප්‍රියංකා සේනානායක මහත්මියගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන සඳහා යළිත් QR කේත ක්‍රමය හඳුන්වා දීම හරහා ජනතාවගේ පරිභෝජනය සීමා කිරීමට රජය සූදානම් වන බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ සැපයුම් ජාල බිඳවැටිය හැකි බවට විපක්ෂය මීට පෙර කිහිප වතාවක්ම අනතුරු ඇඟවූ බවත්, එවකට විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් එම අනතුරු ඇඟවීම් සිනහවෙන් බැහැර කළ බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය. “රටේ ප්‍රශ්නයක් නැත්නම් ඇයි ආයෙත් QR කේත ගේන්නේ?” යනුවෙන් ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම රජය විසින් ආනයනය කරන ලද ගල් අඟුරු බාල මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් විදුලි උත්පාදනය මෙගාවොට් 135කින් පමණ පහත වැටී ඇති බවත් ඔහු චෝදනා කළේය. රජයේ අකාර්යක්ෂමතාවය දිගින් දිගටම පැවතුනහොත්, ඉන්ධනවලට පමණක් නොව ඉදිරියේදී ගොවීන්ගේ පොහොරවලට පවා QR කේත මගින් සීමාවන් පැනවීමට රජය පෙළඹෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වඩා රජය දේශපාලන පළිගැනීම් කෙරෙහි අවධානය යොමු කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.













