රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී නීති මගින් මානව හිමිකම් අපයෝජනය වීමේ සහ මූලික අයිතිවාසිකම් කඩවීමේ දැඩි අවදානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්” (Human Rights Watch) සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ වත්මන් පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයන් විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් කර නොමැති බවයි.
මෙම පනත් කෙටුම්පත යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP Plus බදු සහනය සඳහා බලපාන මානව හිමිකම් කොන්දේසිවලට ද පටහැනි බව එම සංවිධානය අවධාරණය කරයි. වත්මන් රජය බලයට පත්වීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු පීඩාකාරී නීති අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නද, අලුතින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ පැරණි පනතට සමාන විධිවිධාන රැසක් ඇතුළත් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පිළිබඳව මෙම පනතේ දක්වා ඇති අර්ථ දැක්වීම ඉතා පුළුල් සහ අපැහැදිලි එකක් බවත්, එමගින් ත්‍රස්තවාදී නොවන සාමාන්‍ය අපරාධ පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හංවඩු ගැසීමට ඉඩ පවතින බවත් එම සංවිධානය පවසයි. මෙම තත්ත්වය දේශපාලන ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයන් සහ සුළුතර ජනවර්ග ඉලක්ක කර ගනිමින් මර්දනය දියත් කිරීමට රජයේ විරුද්ධවාදීන් විසින් භාවිතා කළ හැකි බවට ද එම නිවේදනය මගින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.














