8 September 2024
#පුවත්

රජයේ සීටී ස්කෑන් යන්ත්‍ර 44න් 7ක් අක්‍රීයයි

රජයේ රෝහල්වල තිබෙන  සීටී ස්කෑන් යන්ත්‍ර 44න් යන්ත්‍ර  07 ක් මේ වන විට  දෝෂවලට ලක් වී තිබෙන බවත්, මේ නිසා රෝගී ජනතාව දැඩිදුෂ්කරතාවන්ට පත්වන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

බිඳවැටී තිබෙන්නේ  රත්නපුර මහ රෝහල, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහ‍ලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කළුතර මහ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සතු යන්ත්‍ර බවද එම සංගමය පෙන්වා දෙයි. කරවනැල්ල රෝහලේ යන්ත්‍රය පෙබරවාරි මස 15 වැනිදා සිට බිඳවැටී ඇත. එම රෝහලේ  රෝගීන් කෑගල්ල මහ රෝහල දක්වා ප්‍රවාහනය කර පරික්ෂණ සිදුකෙරේ. රත්නපුර මහ රෝහලේ යන්ත්‍රය දැනට සති 2ක සිටද, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍ර පසුගිය  30වැනිදා සිට  බිඳ වැටී ඇත.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික්කය තුළ සිටින රෝගීන්ට අදාළ සීටි  පරීක්ෂණ අඩාළ වී තිබෙන බවත්, හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන සීටී යන්ත්‍රය වසරකට වැඩි කාලයක් තිස්සේ බිඳවැටී තිබෙන බවත්, කළුතර මහ රෝහලේ සිටී යන්ත්‍රය ද වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ බිඳවැටී තිබෙන බවත්  රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

කල්මුණේ මූලික රෝහලේ යන්ත්‍රය දැනට මාස එකහමාරක් තිස්සේ බිඳවැටී තිබෙන අතර එම රෝගීන් මඩකලපුව සහ අම්පාර රෝහල් වෙත ප්‍රවාහනය කොට පරීක්ෂණ සිදුකිරීම සිදු වෙයි. මෑතකදී විවෘත කළ ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ තිබෙන නව CT යන්ත්‍රය සති 3ක සිට බිඳ වැටී තිබේ.මෙම යන්ත්‍ර බිඳවැටීම් ගැන සලකා බැලූ කල ඉන් සමහර යන්ත්‍ර සඳහා වාර්ෂික සේවා සේවා ගිවිසුම් යාවත්කාලීන වීම සිදු නොවී තිබෙන අතර තවත් සමහර යන්ත්‍ර සේවා ගිවිසුම් ගතව තිබුණත් යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පවතී.

මෙම යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් රෝග හඳුනා ගැනීම ප්‍රමාද වීම සහ එමගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීම මගින් රෝගී ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන අතර, රෝගීන් වෙනත් රෝහල්වලට ප්‍රවාහනය සඳහා වැය කළ සම්පූර්ණ මුදල ගණන් බැලූ කල නවීන යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීමේ හැකියාව පවතින බවද සංගමය පවසයි.  ඇතැම් රෝහලවල සිට වෙනත් රෝහලකට රෝගීන් ප්‍රවාහනය කර පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස මාසයකට රුපියල් ලක්ෂ තිහත් හතළිහත් අතර  මුදලක් වැයවන බවද සඳහන් කරති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *