රටක් වශයෙන් ලෝකයේ තාක්‍ෂණයට වඩා පසුපසින් යන්නේ නැතිව, ඉදිරියෙන් සිටිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ශිල්පසේනා” ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය විශාල වැඩපිළිවෙළක් කළ හැකි අමාත්‍යංශයක් බවත් රටේ අනාගතය වෙනුවෙන් රට ඉදිරියට යෑමේ සටන ජයගැනීම “ශිල්පසේනාවක්” සිටින බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
හතර වන කාර්මික විප්ලවයට සූදානම් රටක් ලෙස ඉදිරියෙන් සිටීමට නව තාක්ෂණය සමඟ ගමන් කරමින් ලෝක වෙළඳපොළ තුළ ප්‍රමුඛස්ථානයක් ලබාගත යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ රටක අනාගතය තිබෙන්නේ තාක්‍ෂණය සමගයි. කෘෂිකර්ම යුගයෙන් කර්මාන්ත යුගයටත් ඉන්පසු තාක්‍ෂණ යුගයටත් ලොව ගමන් කරමින් තිබෙනවා. ලොව බලවත්ම රාජ්‍ය වන ඇමරිකාව ඉදිරියට පැමිණ තිබෙන්නේ නිෂ්පාදන තුළින් නොවේ. නවීන තාක්‍ෂණය තුළින් ඇමරිකාව එම ප්‍රබල තත්ත්වය පැමිණ තිබෙනවා. ඇමසන්, ගූගල් වැනි සමාගම් තාක්‍ෂණය මගින් උපයන ධනය රටක් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් වෙනවා. රටේ කීර්තිමත්ම යුගය වන අනුරාධපුර යුගයේ පාලකයින් තාක්‍ෂණ දියුණුවක් නොමැතිව රටක් දියුණු කළ නොහැකි බව වටහාගෙන තිබුණා. අතීතයේ ශ්‍රී ලංකාව තරම් ඉංජිනේරු අංශයෙන් දියුණුවක් ලැබූ රටක් තිබුණේ නැහැ. ඔවුන් එම ඉංජිනේරු දැනුම යොදාගෙන යෝධ ඇල, කලා වැව, මින්නේරිය ජලාශය, සීගිරිය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි මහා විශාල ඉදිකිරීම් සිදු කළා. ඉන්දියන් සාගරයේ සිට චීනය දක්වා ගමන් ගත් නැව් නිෂ්පාදනය කළ හැකි නෞකා ක්ෂේත්‍රයේ දැනුමක් ඇති පිරිසක් එදා රට තුළ සිටියා. ඒ වගේම ඖෂධ, අයූර්වේද පිළිබඳව දැනුමත් තිබුණා. සෑම අංශයකම පාහේ එදා අපිට දැනුම තිබුණා. එමගින් අපි එදා දියුණුවක් ලැබුවා.
“තාක්‍ෂණය අනවශ්‍යයි. ගමේ වවාගෙන කෑවම ඇති” කියලා කෙනෙක් කියනවා නම් ඊට වඩා රටකන වැඩක් නැහැ. රටක් ඉදිරියට යාමට විද්‍යාව හා තාක්‍ෂණය අත්‍යවශ්‍යයි. රට ඉදිරියට ගෙන යාමට සුජීව සේනසිංහ මහතා “ශිල්පසේනා” වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා.
සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ කතාවේ සඳහන් කළ පරිදි අධ්‍යාපන ක්‍රමය තුළ විශාල ගැටළුවක් තිබෙනවා. එම ගැටළුවට පිළිතුරු සොයා ගෙන පළමුවෙන් පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි හා පුහුණු ගුරුවරුන් ලබාදුන්නා. ඉන්පසු නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජාතික පාසල්වල උසස් පෙළ හදාරන දරුවන්ට ටැබ් පරිගනක ලබාදෙනවා. ඔවුන්ට ටැබ් පරිගනක මගින් අධ්‍යාපනය ලබාදෙන විට විද්‍යා හා තාක්‍ෂණය ද ඒ හරහා ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ජාතික පාසැල්වලට ටැබ් පරිගනක ලබාදීමෙන් පසුව වයිෆයි තිබෙන පළාත් පාසල්වලටත් ඉන්පසුව වයිෆයි නොමැති පළාත් පාසල්වලට වයිෆයි ලබාදී ටැබ් පරිගනක ලබාදෙනවා.
විද්‍යා ගුරුවරුන් ලබාදී 1 සී පාසල් විද්‍යා අධ්‍යාපන ලබන පාසල් බවට පත් කිරීමට ඇති අවශ්‍යතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මම සාකච්ඡා කලා. ඉන්පසුව දිවයින පුරා 1 ඒ, 1 බී පාසල් පමණක් ඉතිරි වෙනවා. තම කැමැත්ත අනුව දරුවන්ට විද්‍යා අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. ඒ සඳහා පුහුණු ගුරුවරුන් අවශ්‍ය නම් තවත් අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කිරීමට අප සූදානම්. මෙම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා තවත් අධ්‍යාපන විද්‍යා පීඨ දෙකක අවශ්‍යතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මා දැනුම්වත් කර තිබෙනවා.
වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය වීමත් සමග උසස් පෙළ තෘතීයික අධ්‍යාපනය ලබන සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනවා. ඒ අනුව එම දරුවන්ටත් අවසන් වසර දෙක ටැබ් පරිගනක හරහා නවීන තාක්‍ෂණයත් සමග අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.
එම වැඩපිළිවෙළ හරහා නවීන තාක්‍ෂණ සමග අධ්‍යාපනය හැදෑරූ දැනුමෙන් ශක්තිමත් සිසු පරපුරක් සමාජයට දායාද වෙනවා. මේ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර තියෙනවා. පශ්චාත් පාසල් අධ්‍යාපනය පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි. කාර්මික විද්‍යාල හා විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන්ට තාක්‍ෂණය මුසු වූ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි.
සාමාන්‍ය උපාධි හදාරන ශිෂ්‍යයන් 20,000 ක් බදවා ගැනීමටත් පශ්චාත් උපාධි හදාරණ සිසුන් 5000 කට අධ්‍යාපනය ලබාදීමටත් ඉලක්ක කළ යුතු බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සමග මෙහිදී සාකච්ඡා කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් එවැනිම ඉලක්කයකට යා යුතුයි. එම විශ්ව විද්‍යාලවල ඉංජිනේරු පීඨ මූලික කරගනිමින් අනෙක් ආයතන සකස් කළ යුතුයි. එවැනි ඉලක්කයක් නොමැතිව අපට ඉදිරියට යෑමට හැකියාවක් නැහැ. රට ඉදිරියට ගෙන යාමට අලූතින් වැඩ කටයුතු ආරම්භ කිරීම අවශ්‍යව තිබෙනවා. තොරතුරු තාක්‍ෂණය තුලින් පමණක් සෑහීමකට පත්වන්නට බැහැ. කෘතිම බුද්ධිය, බ්ලොක්චේන් තාක්‍ෂණය, ඩිස්ට්‍රප්ටිව් තාක්‍ෂණය ආදිය තුලින් ඉදිරියට යා යුතුව තිබෙනවා. මෙම තාක්‍ෂණික දියුණුව රටේ අනාගතය තීරණය කරනවා.
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වී තිබෙනවා. ඒ අනුව බංගලාදේශය සමග ඇඟළුම් ක්ෂේත්‍රයේ තරග කිරීමේදී එම අංශයේ තාක්‍ෂණය දියුණු කිරීමකින් තොරව එම තරගයට මුහුණදිය නොහැකියි. සෑම ක්ෂේත්‍රයක්ම තාක්‍ෂණය පදනම් කරගනිමින් ඉදිරියට යා යුතුයි.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා වශයෙන් සුජීව සේනසිංහ මහතා දැනට මෙම තාක්‍ෂණය සමග කටයුතු කරන අයට එම කටයුතු දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නවෝත්පාදන සඳහා ආධාර ලබාදීමත්, ඒ වෙනුවෙන් කටයුතු කරන සමාගම් සඳහා බදු සහන ලබාදීමටත් අප කටයුතු කරනවා.
අධ්‍යාපනය නවීකරණය කරමින් දැනට තාක්‍ෂණය සමග කටයුතු කරන අයට ඉදිරියට යෑමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා දැනට කටයුතු කර තිබෙනවා.
රටක් වශයෙන් ලෝකයේ තාක්‍ෂණයට වඩා පසුපසින් යන්නේ නැතිව, ඉදිරියෙන් සිටිය යුතුයි. ඒ සඳහා මෙවැනි වැඩසටහන් උපකාර වෙනවා. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය විශාල වැඩපිළිවෙළක් කළ හැකි අමාත්‍යංශයක්. මම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ තොරතුරු තාක්‍ෂණය වෙනුවෙන් “ඉන්ෆොටෙල්” වැඩසටහන ආරම්භ කළා. මෙතුමා “ශිල්පසේනා” ආරම්භ කර තිබෙනවා. රටේ අනාගතය වෙනුවෙන් රට ඉදිරියට යෑමේ සටන ජයගැනීම “ශිල්පසේනාවක්” සිටිනවා.
මීට පෙර විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරු ගණනාවක් සිටියත් මෙවැනි වැඩපිළිවෙළක් සිදු කළේ නැහැ. මෙම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව සුජීව සේනසිංහ අමාත්‍යවරයාටත් එම අමාත්‍යංශයේ නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා.
මෙම සියලූ කටයුතු ඒකරාශී කර ගනිමින් 4 වන කාර්මික විප්ලවය තුළ ඉදිරියෙන් සිටීමට සූදානම් විය යුතුයි. නව තාක්‍ෂණය සමග සියල්ල සිදු කිරීමට නොහැකි නම් ඉන් කොටසක් හෝ තෝරාගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. තාක්‍ෂණයන් යොදාගෙන ලෝක වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට පියවර ගත යුතුයි. තාක්‍ෂණය යොදාගෙන සිදු කරන ආර්ථික කටයුතු රට තුළට පමණක් සීමා නොකර ලෝක ආර්ථිකය ජයගැනීම වෙනුවෙනුත් යොදා ගැනීමට අවධානය යොමු කළ යුතුයි.
අපනයන ආර්ථිකයක් කරා මෙරට ගමන් කරන විට එහි පදනම වශයෙන් විද්‍යාව හා තාක්‍ෂණය පත් කළ යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට වගේම අනෙකුත් අංශයන්ටත් විද්‍යා හා තාක්‍ෂණය එකතු වෙමින් තිබෙනවා. මේ වනවිට එය ඉලක්ක කරගෙන රජයක් වශයෙන් අධ්‍යාපනය ඉහළ නැංවීමට පියවර රාශියක් ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි.
එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීමට මාර්ග ඉදිකිරීම, ජලය ලබාදීම ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය ආයෝජන මේ වනවිටත් ලබාදී තිබෙන නිසා එම පහසුකම් ප්‍රයෝජනයට ගෙන විද්‍යා හා තාක්‍ෂණය වෙනුවෙන් ආයෝජන ලබාදෙන මට්ටමකට අප දැන් පැමිණ තිබෙන බව කිව යුතුයි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.