රටේ අනාගත උන්නතිය සඳහා අවශ්‍ය වන්නේ හුදෙක් සහතික පත්‍රවලට සීමා වූ පිරිසක් නොව, නිර්මාණශීලී නවෝත්පාදකයින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ (SLITA) අභිනවයෙන් ඉදිකළ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල අද (23) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) සන්නාමය ලොව පුරා ප්‍රචලිත වී ඇත්තේ මෙරට ඇඟලුම් වෘත්තිකයන් සතු විශිෂ්ට ශිල්පීය දක්ෂතාවය නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කඩදාසිවලට සීමා වූ සුදුසුකම්වලින් ඔබ්බට ගිය නිපුණතාවයකින් යුතු පිරිසක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අවධාරණය කළේය. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ පරිගණක 150කින් යුත් අධ්‍යාපන ඒකකයක්, නිර්මාණ මැදිරියක්, නවීන ශ්‍රවණාගාරයක් සහ සිසුන් 100කට පරිශීලනය කළ හැකි පුස්තකාලයක් ස්ථාපනය කර ඇත. මෙමගින් දරුවන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කර දීම අපේක්ෂා කෙරේ.














