රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් පරිශ්‍රයේ තිබී දෙවැනි ලෝක යුද සමයට අයත් යැයි සැක කෙරෙන පතොරම් තොගයක් සොයාගෙන තිබේ. පසුගිය සඳුදා (12) දින පාසල් භූමියේ කසළ ඉවත් කරමින් සිටි කම්කරුවන් පිරිසකට මෙම පතොරම් තොගය හමු වී ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන පරිදි, මෙම පතොරම් මැෂින් තුවක්කු සඳහා භාවිතා කරන උණ්ඩ විශේෂයක් බවට සැක කෙරේ. සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම පතොරම් තොගය තම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පතොරම් පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කිරීමටත්, ඒවායේ කාල වකවානු නිවැරදිව තහවුරු කර ගැනීමටත් ඉදිරියේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.














