වත්මන් රජය සුදුසුකම් හා පළපුරුද්ද නොසලකා හරිමින් පක්ෂ හිතවතුන් රාජ්‍ය සේවයට පත් කිරීම හරහා රටේ පරිපාලන පද්ධතිය විනාශ කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ඇය අවධාරණය කරන්නේ, වෘත්තීය මට්ටමේ රාජ්‍ය සේවයකින් තොරව කිසිදු රජයකට ඉදිරියට යා නොහැකි බවයි.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඔහු ඉතා අවංක සහ දක්ෂ නිලධාරියෙකු බවයි. යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් බවත්, දේශපාලන නායකයන් පළපුරුදු නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.














