වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ හරහා ලැබෙන ඩොලර් දහස් ගණනක වටිනා තෑගි පාර්සල් ලබාදෙන බව පවසා කාන්තාවක රවටා රුපියල් දහ අට ලක්ෂ පනස් පන්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
පොලිස් විමර්ශනවලට අනුව, වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඩොලර් 70,000ක් වටිනා තෑගි පාර්සලයක් එවා ඇති බව පවසා අදාළ වංචාව සිදුකර ඇති අතර, එම තෑගි මුදාගැනීම සඳහා අවශ්‍ය මුදල් සැකකාර හෙද නිලධාරිනියගේ බැංකු ගිණුමට බැර කරවාගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මෙවැනි අන්තර්ජාලය හරහා සිදුවන වංචාවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, නොහඳුනන පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැර නොකරන ලෙසත් පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.














