මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියාවේ පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් (Roman Marshavin) මහතා සහතික වී තිබේ. රුසියාවේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අද (01) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට එළඹ ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු තොග කඩිනමින් සැපයීම සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර සෘජු ගිවිසුම්ගත වීම් හරහා කටයුතු කිරීමට මෙහිදී තීරණය විය. විශේෂයෙන්ම ගෝලීය බලශක්ති මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක, දෙපාර්ශ්වයටම එකඟ විය හැකි සහනදායී ගෙවීම් ක්‍රමවේදයක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබේ.
ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු අඛණ්ඩව සැපයීමට රුසියාව සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මැදපෙරදිග යුද්ධය නිසා ඇති වී තිබෙන සැපයුම් දාම බිඳවැටීම් හමුවේ රුසියාවෙන් ලැබෙන මෙම සහාය මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













