ලුතිනන් ජෙනරාල් ඇලෙක්සෙව් බරපතල තුවාල ලබා රෝහලේ
නිවස ඉදිරිපිටදී පිටට වෙඩි තබා සැකකරු පලාගොස් ඇති බව කියයි
වැග්නර් කැරැල්ල මැඩපැවැත්වූ ප්‍රධානියෙකු ඉලක්ක වීම ලෝක අවධානයට
රුසියානු හමුදා බුද්ධි අංශයේ (GRU) පළමු නියෝජ්‍ය ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව් (Vladimir Alexeyev) ඉලක්ක කරගනිමින් මොස්කව් නුවරදී අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වයඹදිග මොස්කව්හි පිහිටි සිය නිවසේ පඩිපෙළ මතදී නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
තුවක්කුකරු විසින් ජෙනරාල්වරයාගේ පිට ප්‍රදේශයට කිහිප වතාවක් වෙඩි තබා ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 75 හැවිරිදි ඇලෙක්සෙව් 2011 වසරේ සිට රුසියානු හමුදා බුද්ධි අංශයේ ප්‍රබලතම තනතුරක් දරන අතර, 2023 වැග්නර් කැරැල්ලේදී එහි ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සමඟ සාකච්ඡා කර කැරැල්ල මැඩපැවැත්වීමට මැදිහත් වූ ප්‍රධානතම නිලධාරියෙකි.
යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම සිදුවීම මෙය වන අතර රුසියාව මීට පෙර මෙවැනි ප්‍රහාර සඳහා යුක්රේනයට චෝදනා කර තිබුණි. රුසියානු විමර්ශන කමිටුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනු කර පලාගිය සැකකරු සොයා මොස්කව් නුවර පුරා මෙහෙයුම් ආරම්භ කර ඇත.














