වතු කම්කරුවන් සඳහා රජය ප්‍රකාශ කළ රුපියල් 1700ක වැටුප ලබාදීමේදී වතු සමාගම් පනවන අත්තනෝමතික කොන්දේසිවලට එරෙහිව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා රජයට අනතුරු ඇඟවීමක් කර තිබේ. මීට පෙර දිනකට නෙළිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 20ක් වුවද, නව වැටුප ගෙවීම සඳහා එය කිලෝග්‍රෑම් 25 දක්වා ඉහළ නැංවීමට සමාගම් උත්සාහ කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අස්වැන්න අඩු කාලසීමාවන්හිදී මෙවැනි ඉලක්ක සපුරා ගත නොහැකි බැවින් කම්කරුවන්ට හිමිවන්නේ භාග දවසක වැටුපක් පමණක් බව ඔහු අවධාරණය කළේය. මස්කෙළිය, අප්කොට් සහ ගවරවිල වැනි වතුවල දැනටමත් වැඩ නතර කර ඇති බවත්, මීට කඩිනම් විසඳුම් නොලැබුණහොත් මේ මස 10 වැනිදායින් පසු සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් දිගම්බරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














