වසර හයකට අධික කාලයක් තිස්සේ නොවිසඳී පවතින උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය අද (24) සිට දිවයින පුරා රේගු කාර්යාලවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරීවරුන්ගේ සංගමය සහ රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් මෙම විරෝධතාවයට එක්ව සිටී.මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර ලෙස අද සිට සියලුම රේගු නිලධාරීන් සිය රාජකාරි කටයුතුවල නිරත වන්නේ කළු පටි පැළඳගෙනයි. 2020 පෙබරවාරි 13 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය (SOR) මෙතෙක් සම්පූර්ණයෙන් බලාත්මක නොකිරීම හේතුවෙන් නිලධාරීන්ට හිමිවිය යුතු උසස්වීම් සහ ඊට අදාළ ප්‍රතිලාභ වසර හයක සිට අහිමි වී ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන පෙබරවාරි 26 වන දින මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අනෙකුත් අදාළ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවේ ප්‍රතිඵල මත පදනම්ව, ලබන 27 වැනිදා රැස්වන වෘත්තීය සමිති නියෝජිතයින් සිය අරගලයේ ඉදිරි පියවර සහ දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රේගු වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි














