රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කිරීම සඳහා සෑම රෝහලකම මසකට වරක් ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා උපදෙස් දී තිබේ. මාතර දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ඖෂධ හිඟයක් ඇති වීමට පෙර එය හඳුනාගෙන අවශ්‍ය නම් ප්‍රාදේශීය මට්ටමින් ඖෂධ මිලදී ගැනීම් සිදු කර හෝ රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම රැස්වීම්වල ප්‍රධාන අරමුණයි. වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ සැපයුම් ජාලය යථාවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම මැදිහත්වීම සිදු කරන බවත්, රෝහල් තුළ නිසි ඖෂධ ධාරිතාවක් පවත්වා ගැනීම හරහා ජනතාව පීඩාවට පත්වීම වැළැක්විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














