රජයේ රෝහල්වල පවතින හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා වන දිගු පෝලිම් අවම කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට අද (10) තීරණය විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් වෛද්‍යාධාර ලබාදීමේ නිර්ණායක ලිහිල් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබාගත හැකි වන පරිදි ක්‍රමවේදය සරල කිරීමටත් පියවර ගෙන තිබේ.
මීට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක විශේෂ දීමනාවක් ලබාදීමටත්, සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබන සිසුන්ට පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමටත් මෙහිදී තීරණය විය. ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කර විනිවිදභාවය තහවුරු කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.














