තලවකැලේ සිට කොළඹ බලා ධාවනය වූ කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු අද (26) අලුයම සමත් වී තිබේ.
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල මහ වංගුව ප්‍රදේශයේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඇති අතර, එම අවස්ථාවේදී රියදුරු පියවර ගෙන ඇත්තේ බස් රථය අසල පස් කන්දක ගැටීමට සලස්වා නතර කර ගැනීමටයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
තිදරු පියෙකු වන 49 හැවිරිදි රියදුරු මහේෂ් සුදර්ශන් මහතා ප්‍රකාශ කළේ, වංගුව ගැනීමේදී තිරිංග ක්‍රියා නොකිරීම නිසා අත්තිරිංග (Hand Brake) භාවිත කරමින් බස් රථය ප්‍රපාතයට යාමට නොදී පස් කන්දේ ගැටීමට සැලැස්වූ බවයි.
අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව මගීන් වෙනත් බස් රථයකින් ගමනාන්තය දක්වා පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.














