ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පෞද්ගලික අංශයට හිතකර ලෙස සමාගම් හයකට කඩා වෙන්කිරීමේ රජයේ සැලසුමට එරෙහිව විදුලි ඉංජිනේරුවන් ඇතුළු වෘත්තීය සමිති 24ක් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට අනතුරු අඟවයි. මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍රය එළඹෙන පෙබරවාරි 27 වනදා නිකුත් කිරීමට නියමිත අතර, එය නිකුත් වූ සැණින් දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කරන බව තාක්ෂණික ඉංජිනේරු සහ අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුවහොත් විදුලි පද්ධතියේ කිසිදු නඩත්තු හෝ අලුත්වැඩියා කටයුත්තක් සිදු නොකරන බවත්, ආරක්ෂක හේතූන් මත ප්‍රධාන විදුලි පද්ධති විසන්ධි කිරීමට පවා සිදුවනු ඇති බවත් වෘත්තීය සමිති අවධාරණය කරයි. සේවක වරප්‍රසාද තහවුරු කිරීම, දේපළ විගණනය කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විශ්‍රාම වැටුප් අරමුදල් සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක වේ. රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවක් ඇති නොවුවහොත්, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතී.














