දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් සහ වියට්නාමයෙන් තරුණියන් “ආනයනය” කළ යුතු බවට ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ (Kim Hee-soo) සිදුකළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ග්වාංජු මෙට්‍රොපොලිටන් නගරය සහ තවත් ප්‍රාන්ත කිහිපයක් ඒකාබද්ධ කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තනිකඩ පුද්ගලයන් විවාහ කර දීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවලින් තරුණ මනාලියන් ගෙන්වීමේ ක්‍රියාවලියක් නීතිගත කළ යුතු බවයි.
විදේශීය කාන්තාවන් සහ රටවල් අවමානයට ලක්වන අයුරින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ විවිධ අංශවලින් එල්ල වූ ප්‍රබල විරෝධය හමුවේ ආණ්ඩුකාරවරයා මේ වන විට නිල වශයෙන් සමාව අයැද තිබේ. තමාට කිසිදු රටක් හෝ පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීමේ අදහසක් නොතිබූ බවත්, ග්‍රාමීය ජනගහනය අඩුවීම පිළිබඳ පවතින දැඩි කනස්සල්ල හේතුවෙන් මෙම අදහස් පළ වූ බවත් ඔහු පෙන්වා දී ඇත.














