ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට මෙලෙස නොතීසි නිකුත් විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අතර, සතියක් ඇතුළත නොතීසි යැවීමට පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණි.
විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ 2016 වසරේ සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය චක්‍රලේඛ හරහා ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමටත්, ඒ අනුව නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් රජය කටයුතු කිරීම නීති විරෝධී බවයි. මෙවැනි ක්‍රියාවන් හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත්, ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය මත ලිංග භේදය තීරණය කිරීම මෑතකාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කරයි. මෙම පෙත්සම ලබන ජූලි මස 20 වනදා නැවත කැඳවීමට නියමිතය.















