ඉරානය සහ අමෙරිකාව අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බීරූට් අගනුවර මධ්‍යයේ පිහිටි වාණිජ සහ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පසු අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ, “අවශ්‍ය ඕනෑම තැනකදී” හෙස්බොල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය නතර නොකරන බවයි.
බීරූට් නගරයට එල්ල වූ මෙම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව පිළිබඳව විවිධ වාර්තා පළ වන අතර, රොයිටර් පුවත් සේවයට අනුව එම සංඛ්‍යාව 250කි. ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) වාර්තා කරන්නේ පුද්ගලයන් 182 දෙනෙකු මියගොස් ඇති බවයි. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත වරක් වසා දැමීමට පියවර ගෙන ඇත. මීට පෙර සටන් විරාම එකඟතාවයත් සමඟ එම මුහුදු සීමාව විවෘත කිරීමට ඉරානය එකඟ වී තිබුණි.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමයට ලෙබනනය ඇතුළත් නොවන බව අගමැති නෙතන්යාහු පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. ඉරානයට හිතවාදී හෙස්බොල්ලා සටන්කාමීන් ලෙබනනය තුළ ක්‍රියාත්මක වන බැවින්, ඔවුන් මර්දනය කිරීම සඳහා ඊශ්‍රායලය සිය මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම උණුසුම් වාතාවරණය හමුවේ හෙට (සිකුරාදා) ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.














