19 September 2024
#දේශීය #පුවත්

ලොකු පැටී ගෙන්න පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටි නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් දින කීපයකින් බෙලරුසියාව බලා පිටත් වීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබාහි රැඳී සිටි ලොකු පැටි නැමැත්තා පසුගියදා බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට තැත් කිරීමේදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
ඉකුත් ජූලි 8 වැනි දින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියදී ගිනි අවි වලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් ක්ලබ් වසන්ත ඝාතනය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලොකු පැටී නමැත්තාට චෝදනා එල්ල විය.

එම ඝාතනය කංජිපාණී ඉම්රාන් නැමැත්තාගේ උපදෙස් මත ලොකු පැටී නමැත්තාගේ සමීපතමයන් පිරිසක් විසින් සැලසුම් කර ඇති බවද, එම සැලසුම්වලට අනුව ඝාතනය සිදු කර ඇති බවද මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණය වි ඇත.

මෙම ඝාතන අපරාධය සම්බන්ධයෙන් වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනාව මත බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගැනුණු අතර, ප්‍රශ්න කිරීමේදී ඩුබාහි රැඳී සිටින චුඩ් ප්‍රියන්ත පැන්සිස් නැමැති පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබේ. එය පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අදහසින් සිදුකළ ප්‍රකාශයක් දැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

චුඩ් ප්‍රියන්ත පැන්සිස් යන අය අමල් සිල්වාගේ දේශපාලන හිතවතෙකු වන අතර, අමල් සිල්වා දේශපාලන කටයුතුවල යෙදෙද්දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇති පුද්ගලයකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.
මේ වන විට එම පුද්ගලයා වෙනත් දේශපාලන ප්‍රවාහයක් සමඟ සම්බන්ධ වී ඇත. දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා එම ප්‍රකාශය කළාදැයි සැකයක් හටගෙන ඇත.

රිමාන්ඩ් බාරයේ පසුවන අමල් සිල්වා චුඩ් ප්‍රියන්ත පැන්සිස් පුද්ගලයාගේ නම අනාවරණය කළේ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ මහා මොළකරුවන් ලෙස මුල සිටම විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් රැහැණින් බේරා ගැනීමට දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අමල් සිල්වා ඇතුළු දොළොස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.මේ අතර ක්ලබ් අසන්ත ඝාතන සිද්ධියේ මහ මොළකරුවන් බව කියන කංජිපාණී ඉම්රාන් හා ලොකු පැටි නමැත්තන් වහා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන ලෙස බල කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් මෙන්ම තවත් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය දිනවල විරෝධතා දැක්වූහ.

[ADA]

Leave a comment

Your email address will not be published. Required fields are marked *