41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සබීනා යූසෆ් අමෙරිකාව බලා පිටත්ව යයි
ශ්‍රී ලංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරය කරා ගෙනයාමේ අරමුණින්, අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියාය.
ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම තරගාවලිය, හෙට (22) දින සිට ජනවාරි 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමේ අරමුණින් සබීනා යූසෆ් මහත්මිය මෙම අභියෝගාත්මක තරගබිමට එක්වෙයි.
ඇයගේ මෙම ගමනට සුබ පැතීම සහ දිරිගැන්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද මහතා මෙන්ම පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගනිමින් මෙරටට ගෞරවයක් එක් කළ ඉෂාදි අමන්දා මහත්මිය ද වූහ.
මීට අමතරව සබීනාගේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් ද ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ ඇයට උණුසුම් සුබ පැතුම් එක් කළහ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලෝක වේදිකාව මත බැබළවීමට සබීනා යූසෆ් මහත්මියට හැකි වේවා යන්න සැමගේ ප්‍රාර්ථනයයි.















