ඉරාන-අමෙරිකා-ඉශ්‍රායල යුද්ධය තෙවන සතියටත් පා තැබීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල හෙට (සඳුදා) දිනයේදී තවදුරටත් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉරානය විසින් වසා දැමීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) සහ WTI බොරතෙල් මිල ගණන් මේ වන විටත් 40% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටමයි.
ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට (Kharg Island) අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් පර්යන්ත වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති අතර, මෙයට සහය වීම සඳහා යුධ නැව් එවන්නැයි චීනය, ජපානය සහ බ්‍රිතාන්‍යය වැනි රටවලින් ඉල්ලීමක් කර ඇත. මේ අතර, සෞදි අරාබියේ අබ්කායික් (Abqaiq) වැනි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ද මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බව ජේ.පී. මෝගන් ආයතනය පෙන්වා දෙයි.
මෙම තෙල් අර්බුදයට පිළියම් ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය රක්ෂිත තෙල් බැරල් මිලියන 400 ක් වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර ඇති අතර, ජපානය හෙට සිට එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වුවද, ට්‍රම්ප් පාලනය මේ වන විට මැදපෙරදිග මිත්‍ර පාර්ශවයන් ඉදිරිපත් කළ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉරානය ද පවසන්නේ ප්‍රහාර නතර වන තුරු සටන් විරාමයකට එකඟ නොවන බවයි. මෙම තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම තවදුරටත් දීර්ඝ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














