ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම, පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සහ නව රැකියා උත්පාදනය අරමුණු කරගනිමින් ලෝක බැංකු සමූහය සහ ශ්‍රී ලංකා රජය එක්ව වසර පහක නව සහයෝගීතා රාමුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යකාලීන කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7ක මට්ටමකට ගෙන ඒමට සහ ඉදිරි දශකයේදී සේවා නියුක්ත වෙළඳපොළට එක්වන තරුණ පරපුර මුහුණ දෙන රැකියා අභියෝගයන්ට ස්ථිර විසඳුම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෑතකදී අත්පත් කරගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් රට තිරසාර මෙන්ම සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. වසර 70කට අධික කාලයක් පවතින ලෝක බැංකු සබඳතාව මෙම නව රාමුව ඔස්සේ තවදුරටත් ශක්තිමත් වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති ජොහැන්නස් සුට් මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව මෑත වසරවලදී දැක්වූ ප්‍රකෘතිමත් වීම ඉතා සුවිශේෂී වන අතර එහි ප්‍රතිලාභ කාන්තාවන්, තරුණ තරුණියන් ඇතුළු සමාජයේ මෙතෙක් අවධානයට ලක් නොවූ ප්‍රජාවන්ට පවා ගලා යාමට සැලැස්වීම මෙහි අපේක්ෂාව බවයි.
පෞද්ගලික අංශය මූලික කරගත් රැකියා නිර්මාණය කෙරෙහි මෙම හවුල්කාරිත්වය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරි වසර 10 තුළදී ලක්ෂ 10කට ආසන්න තරුණ පිරිසක් අලුතින් ශ්‍රම වෙළෙඳපොළට එක්වන බව බලධාරීන් ගණන් බලා තිබෙනවා. එහෙත් නව ආයෝජන සහ සීග්‍ර වර්ධනයක් ඇති නොවුණහොත් ආර්ථිකය තුළ නිර්මාණය කළ හැක්කේ විධිමත් රැකියා ලක්ෂ 3ක් පමණක් බවයි පුරෝකථනය කර ඇත්තේ.
මෙම හිඩැස පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා ඉදිරි වසර 5 ඇතුළත ඩොලර් බිලියන 1කට අධික ආයෝජනයක් සහ ලෝක බැංකුවෙන් ඉදිරි වසර 3 ඇතුළත ඩොලර් බිලියන 1ක සහනදායී ණය මුදලක් සම්පාදනය කිරීමට ලෝක බැංකු සමූහය කටයුතු කරනු ලබනවා. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, වෙළඳ ක්‍රියාවලීන් නවීකරණය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, සංචාරක හා කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම 2030 වන විට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා ඉහළ නැංවීමට මින් මූලික අවධානයක් යොමුව තිබෙනවා.
මෙම රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික දියුණුව වෙනුවෙන් ඩොලර් මිලියන 100ක වැඩසටහනක් ලෝක බැංකු මණ්ඩලය දැනටමත් අනුමත කර තිබෙනවා. එමඟින් කුඩා පරිමාණ ව්‍යාපාර සහ විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කරමින් 2031 වන විට නව රැකියා 3,000ක් පමණ බිහිවනු ඇතැයි අපේක්ෂිතයි. දැනටමත් ලෝක බැංකුව මඟින් අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම සහ සමාජ ආරක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ඩොලර් බිලියන 1.5කට වඩා වටිනා සක්‍රීය ව්‍යාපෘති 13ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබනවා.














