ලොව සුප්‍රකට ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ ලාබාලතම ගෝල ලාභියා බවට පත්වෙමින් ආර්සනල් (Arsenal) පාසල් කණ්ඩායමේ ක්‍රීඩක මැක්ස් ඩව්මන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඊයේ (මාර්තු 14) එමිරේට්ස් ක්‍රීඩාංගණයේදී එවර්ටන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි මෙම 16 හැවිරිදි ක්‍රීඩකයා, වසර 21ක් තිස්සේ නොබිඳී පැවති වාර්තාවක් බිඳ දැමීමට සමත් විය.
වයස අවුරුදු 16යි දින 73ක් වන විට මෙම දස්කම දැක්වූ ඩව්මන්, මීට පෙර එවර්ටන් ක්‍රීඩක ජේම්ස් වෝගන් (James Vaughan) තබා තිබූ වාර්තාව දින 197කින් අභිබවා ගොස් ඇත. තරගයේ 89 වන මිනිත්තුවේදී වික්ටර් ජොකෙරෙස් (Viktor Gyokeres) වාර්තා කළ ගෝලයට දායකත්වය ලබා දුන් ඔහු, ඉන් අනතුරුව තරගයේ 97 වන මිනිත්තුවේදී අතිවිශිෂ්ට ඒකල ගෝලයක් (Solo goal) වාර්තා කරමින් ආර්සනල් පිලට ජයග්‍රහණය තහවුරු කර දුන්නේය. වේන් රූනි වැනි ප්‍රකට ක්‍රීඩකයින් පවා තරුණ අවධියේදී තැබූ වාර්තා අභිබවා යමින් මැක්ස් ඩව්මන් මෙලෙස පාපන්දු ලෝකයේ අවධානය දිනාගෙන තිබේ.














