වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම කෙරෙහි ඉන්දීය මධ්‍යම රජයේ දැඩි අවධානය යොමු වී ඇත. තොරතුරු තාක්ෂණ (අතරමැදි මාර්ගෝපදේශ සහ ඩිජිටල් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය) රීති සංශෝධනය කරමින් මෙම නව නීති හඳුන්වා දීමට රජය සූදානම් වන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් (Ashwini Vaishnaw) මහතා සඳහන් කළේ, වයස් සීමාවන් මත පදනම් වූ නියාමනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවන් සමඟ දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ඔස්ට්‍රේලියානු ආදර්ශය (Australian model) මෙහිදී සැලකිල්ලට ගත්තද, ඔස්ට්‍රේලියාව මෙන් සම්පූර්ණ තහනමක් පැනවීමට වඩා දරුවන්ට සුදුසු සහ නුසුදුසු ගිණුම් පිළිබඳව විචාරාත්මකව බලා සීමාවන් පැනවීම රජයේ අරමුණ වී තිබේ.
දැනට පවතින ඩිජිටල් පුද්ගලික දත්ත ආරක්ෂණ (DPDP) පනත යටතේ, වයස අවුරුදු 18ට අඩු අයෙකුගේ දත්ත ලබා ගැනීමට නම් මවුපියන්ගේ තහවුරු කළ කැමැත්ත ලබා ගැනීම අනිවාර්ය වේ. මෙමඟින් දරුවන් ඉලක්ක කරගෙන දැන්වීම් ප්‍රචාරය කිරීම සහ දත්ත රැස්කිරීම වක්‍රව සීමා කර ඇතත්, සෘජු වයස් සීමාවක් පැනවීම තුළින් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට රජය බලාපොරොත්තු වේ.
විශේෂයෙන්ම “Deepfakes” (කෘත්‍රිම බුද්ධිය හරහා සකසන ව්‍යාජ වීඩියෝ) වැනි තාක්ෂණික තර්ජන හමුවේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම වයස් සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ලෝකයේ බොහෝ රටවල් දැනටමත් මෙවැනි නියාමනයන් පිළිගෙන ඇති බැවින් ඉන්දියාව ද එම මාවතට අවතීර්ණ වීමට සූදානම්ය.














