රජයේ තීරණයට අනුව වරායට ගොඩබාන සහල් පැය හතරක් තුළ රේගු කටයුතු අවසන් කර නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව ඉදිරි දිනවල වරායට පැමිණීමට නියමිත නැව්වලින් ගෙන එන සහල් ගොඩබෑමෙන් පසු රේගු කටයුතු කඩිනමින් අවසන් කිරීමට අද (06දා) සිට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මීට අමතරව බහලුම් පරික්ෂා කර නිදහස් කිරීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ලබන සතියේ සිට තවත් කන්ටේනර් පරික්ෂා කරන අංගණයක් ස්ථාපිත කරන බවද පැවසීය.
ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වරායේ තවත් දොරටුවක් රාත්‍රී කාලයේදී විවෘත කිරීමටත් කටයුතු කරන බවත්, විදේශ රටවලින් දෛනිකව බහලුම් එක්දහස් පන්සියයක පමණ ප්‍රමාණයක් වරායට පැමිණෙන බවද සඳහන් කළේය.
ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වසරක කාලයක් තුළදී රේගු දෙපාර්තමේන්තුව විසින් උපයා ගත් වැඩිම මුදල මේ වසරේ ගෙවීගිය මාස 11 ක කාලය තුළදී උපයා ගෙන තිබෙන බවත්, ගෙවීගිය මාස 11ක කාලය තුළදී රුපියල් බිලියන එක්දහස් තුන්සිය අසූවක මුදලක් උපයා ගෙන තිබෙන බවත්, මේ වසරේ රේගු දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන එක්දහස් පන්සිය තිහක මුදලක් බවද පැවසීය.
මේ වන විට රේගු සේවය තුළ පුරප්පාඩු හත්සියයක පමණ ප්‍රමාණයක් පවතින බවත්, සේවක පුරප්පාඩු මෙතරම් ප්‍රමාණයක් තිබියදීත් රේගු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්, මීට අමතරව තහනම් භාණ්ඩ රට තුළට පැමිණීමට වැළැක්වීම හා රේගු බදු වංචා වැළැක්විමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.
රේගු නිලධාරීන් විසින් රාජකාරිය නිසි ලෙස සිදුකිරීම නිසා හා විවිධ ක්‍රියා නිසා රජයට අහිමි වීමට ගිය රුපියල් බිලියන විසිඑකක මුදලක් උපයා ගැනීමට මේ වසරේ ගෙවීගිය කාලය තුළදී හැකි වී තිබෙන බවද සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල් බිලයන නවසියය ඉක්ම වූ ආදායමක් රජයට උපයා දී තිබෙන බවත්, මේ වසර තුළදී එම ආදායම් ප්‍රමාණය මේ වන විටත් ඉක්මවා ගොස් තිබෙන බවත්, මේ වසරට අදාළ ඉලක්කගත ආදායම සම්පූර්ණ කරගත හැකි බවද පැවසීය.