ශ්‍රී ලංකාව තුළ විදේශීය ජාතිකයන් සම්බන්ධ රථවාහන අනතුරු ඉහළ යාමත් සමඟ, සංචාරකයන්ගේ සහ මෙරට වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කර ඇත්තේ පසුගිය 2025 වසරේදී පමණක් මාර්ග අනතුරුවලින් විදේශිකයන් 05 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බරපතල හා සුළු තුවාල ලැබීම් රැසක් වාර්තා වී ඇති බවයි. මේ හේතුවෙන් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදේශිකයන්ට මෙන්ම ඔවුන්ට වාහන ලබා දෙන හිමිකරුවන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.
විදේශිකයෙකු මෙරට තුළ වාහනයක් ධාවනය කරන්නේ නම් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් හෝ විදේශීය බලපත්‍රයක් ඉදිරිපත් කර ලබාගත් පරිවර්තන සහතිකයක් සතු විය යුතුය. මෙම පරිවර්තන සහතිකය වේරහැර කාර්යාලයෙන් හෝ කටුනායක ගුවන්තොටුපළේ පිහිටි විශේෂ කවුන්ටරයෙන් ලබාගත හැකි බව පොලිසිය අවධාරණය කරයි. මෝටර් රථ සංගමය ඇතුළු වෙනත් කිසිදු පෞද්ගලික සංවිධානයකට මෙලෙස තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමට බලයක් නොමැති බවද මෙහිදී පැහැදිලි කර තිබේ.
නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා රුපියල් 25,000 සිට 50,000 දක්වා දඩ මුදල් පැනවීමටත්, මාරාන්තික අනතුරකදී සිර දඬුවම් සහ බලපත්‍ර අත්හිටුවීමටත් කටයුතු කරනු ලැබේ. එමෙන්ම විදේශිකයන්ට වාහන කුලියට ලබා දෙන පුද්ගලයන් අදාළ බලපත්‍ර නිසි පරිදි පරීක්ෂා කළ යුතු අතර, එසේ නොමැතිව වාහන ලබා දීම වරදක් බැවින් ඔවුන්ට එරෙහිව ද නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි. දැනට වෙරළබඩ ප්‍රදේශවලින් ආරම්භ කර ඇති මෙම මෙහෙයුම් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.















